කෝවිඩ් – 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ ආගමික නායකයන්ගේ අභිමත භූමිකා අට පිළිබඳ CORRECT-19 ආකෘතිය

NWANY විජේසේකර https://orcid.org/0000-0002-0391-6220,

දීමන්ත ජයසිංහ, LA වල්පොල

ආපදා, හදිසි තත්ත්ව, ගැටලුකාරී අවස්ථා ආදී වූ විවිධ අභියෝගාත්මක අවස්ථාවන්හිදී ආගමික නායකයින්ගේ උපකාරය නන් අයුරින් සමාජයට ලැබේ. කෝවිඩ්-19 කාල පරිච්ඡේදයද, ලෝකයේ විවිධ ප්‍රජාවන්ට ඔවුන් දක්වන එම දායකත්වය පිළිඹිබු වන අවස්ථාවකි. නමුත්, ඇතැම් ආගමික නායකයින් මෙම ව්‍යසනය පාලනයට ලබා දී ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියා කළ අවස්ථා ද දක්නට ලැබේ, නිදසුනක් ලෙස, සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අවනත නොවන අයුරින් පිරිස් එක් රැස් වන ආගමික වැඩසටහන් පැවැත්වීම දැක්විය හැකිය. එමනිසා, මෙම ව්‍යසනකාරී තත්ත්වය තුළ ඒ සඳහා ආගමික නායකයින්ගේ භූමිකාව ධනාත්මක හා ඍණාත්මක යන දෙආකාරයෙන් ම බලපැවැත්වන බව පැහැදිළි වේ. Resilience Research, Training and Consulting ආයතනය Awareness with Human Action (AHA) ව්‍යාපෘතියේ දායකත්වයෙන් හා යුරෝපා සංගමයේ අනුග්‍රාහකත්වයෙන් කෝවිඩ් 19 (කොරෝනා) ගෝලීය වසංගත තත්වය තුළ ආගමික දායකත්වය තුළින් ප්‍රජාව සවිබල ගැන්වීම (CORRECT-19) යන තේමාව යටතේ ව්‍යාපෘතියත් දියත් කරනු ලැබේ. CORRECT-19 ව්‍යාපෘතියෙහි කොටසක් ලෙස, අප විසින් ශ්‍රී ලංකාවේ විවිධ ආගමික, ඇදහිලි/ විශ්වාස, සහ ආධ්‍යාත්මික සම්ප්‍රදායන් වලට අයත් නායකයින් සමඟ කෝවිඩ්-19 තත්ත්වය තුළ ඔවුන්ගේ දායකත්වය පිළිබඳව කණ්ඩායම් සාකච්ඡා සහ පුද්ගලික සම්මුඛ සාකච්ඡා සිදු කරනු ලැබේ. මෙහිදී, අප විසින් අපේක්ෂිත චර්යා, අනපේක්ෂිත චර්යා සහ අපේක්ෂිත භූමිකා හඳුනා ගැනීම සඳහා ප්‍රමුඛ බටහිර වෛද්‍ය හා වසංගත රෝග පර්යෙෂණ ක්‍රම අපේක්ෂිත/ අනපේක්ෂිත චර්යා හඳුනා ගැනීමෙහි ප්‍රධාන සාධකය ලෙස භාවිතා කරමින් අන්තර්ගත විශ්ලේෂණයක් සිදු කරන ලදි. CORRECT-19 ආකෘතිය කෝවිඩ්-19 ව්‍යසන කාලය තුළ ආගමික නායකයින්ගෙන් අපේක්ෂිත භූමිකා 8ක් ඔස්සේ අධ්‍යනය කෙරෙයි, එනම්, ආගමික මඟපෙන්වන්නා, සෞඛ්‍ය ප්‍රවර්ධක, හෘදයාංගම මිතුරා, සමාජ සේවක, ප්‍රජා බලමුළුකරු, ජාලකරු, සාමකරු හා උද්දේශකරු යනාදියයි. මෙම භූමිකා 8 නිර්මාණය කීරීමෙහිලා අපගේ අභිලාෂය වනුයේ පවතින තත්ත්වය හමුවේ ආගමික නායකයෙකුගෙන් බලාපොරොත්තු වන කාර්යභාරය නිරූපණය කර දැක්වීමයි. මෙම භූමිකා අට විදහා දැක්වෙන CORRECT-19 ආකෘතිය කෝවිඩ්-19 මැඩලීමට ආගමික නායකයින් ක්‍රියාකාරී හා ඵලදායී ලෙස මැදිහත් වන ආකාරය දක්වන සන්නිවේදන හා දැනුවත්භාවය ඇති කිරීමේ මෙවලමකි.

ප්‍රමුඛ වචන – CORRECT -19, අපේක්ෂිත භූමිකා, ආගමික නායකයින්, කෝවිඩ් -19